Vision

1978 අ.වි.ශි.බ.ම බිහි වන්නේ මූලික අරමුණු 03 ක් මුල් කරගෙනය

පවතින සමාජ ආර්ථික ක්‍රමය තුළ පීඩිත ජනතාවගේ ගැටලු විසඳාගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදීම.

නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කොන්දේසි විරහිතව සටන් වැදීම.

විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳාගැනීම වෙනුවෙන් සටන් වැදීම.

අ.වි.ශි.බ.ම බිහිවන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් නවලිබරල් ධනවාදය (විවෘත ආර්ථිකය) මෙරට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟය. එතෙක් වෙන වෙනම තිබූ ශිෂ්‍ය සංගම් එක් ව්‍යූහයක් යටතට එකතු කොට එක සටන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පෙළඹවූ දේශපාලන අවශ්‍යතාව ඒකාධිපති, කුරිරු නවලිබරල් වැඩපිළිවෙලට සාමූහිකව මුහුණ දීමයි. ජනතාව මර්දනය කරමින්, අයිතීන් කොල්ලකමින්, විකුණමින් ජනතාව මත හෙළන නවලිබරල් ආර්ථික බලහත්කාරයට එරෙහි වීම අ.වි.ශි.බ.ම බිහිවූ අරමුණු තුනෙන් පළමු වැන්නයි. නිදහස් අධ්‍යාපන අයිතිය උදුරාගෙන වෙළඳ භාණ්ඩයක් කොට විකිණීමත්, ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් ආරම්භ කිරීමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල කොට ස්වභාවික මරණයට යැවීමත් නවලිබරල් අධ්‍යාපන වැඩපිළිවෙළ විය. අ.වි.ශි.බ.ම දෙවැනි හා තෙවැනි අරමුණු තීරණය වන්නේ මෙම නවලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්තිය පරාජය කරමින් නිදහස් අධ්‍යාපනයේ අරුණැල්ල හෙට ලෝකයට පරිපූර්ණ වශයෙන් දිනාදීමට ඇති අවශ්‍යතාව මතය.